Tuesday, December 26, 2017

සිංහල අක්‍ෂර කලාවේ ආරම්භය හා විකාශනය පිළිබඳව ඇති මතවාද විමර්ශනය කරන්න.


 සමස්ත ලෝකවාසීන්  වර්තමානයේ දී තම හැඟීම් නැතහොත් අදහස් ලිඛිතව ප්‍රකාශ කිරීම සුලබව දැකිය හැකි සංසිද්ධියකි. මෙම තත්ත්‍වය ආකාෂ්මිකව පහළ වූවක් නොව, පියවර ගණනාවක් පසු කොට ආ ගමන් මඟක ප්‍රතිථිලයකි.
වසර දසලක්‍ෂගණනක කාලයක් තිස්සේ මානසිකව මෙන්ම භෞතික ලෙස විවිධ අවස්ථාවන්ට මානවයා මුහුණ දී අදහස් ප්‍රකාශ කිරීමේ ශක්‍යතාව ලබා ගෙන ඇත. මූලික වශයෙන් ගල් යුගයේ දී ඔවුන් රූපාක්‍ෂර භාවිත කරමින් තම අදහස් ප්‍රකාශ කර ඇත.
සුවිශේෂි කාරණාව වූයේ ක්‍රි.පූ 3000 දී පමණ ඇති වූ නාගරික පරිසරය තුළ ලේඛනය අත්‍යවශ්‍ය අංගයක් විය. එහි දි
පරිපාලනය
ආර්ථික
නීතිය
ආගමික ආදි කටයුතුවලට ප්‍රබල ලෙස ම අවශ්‍ය විය. මෙම ඇති වූ සමාජ පරිසරය තුළ හුදු ලේඛන කලාවේ පුනරාගමනය සිදු වූ බව සිතිය හැක.
විශේෂයෙන්ම මෙබඳු ලේඛන කලාවක් බිහිවීමට පෙරාතුව ඊට පසුබිම සකස් කළ සංකේත නිර්මාණ මතු දැක්වෙන ආකාරයට බෙදා දැක්විය හැක.
1. සංකේත රූප (චිත්‍ර ආශ්‍රිත ලේඛනය)
2. අදහස් සංකේත
3. ශබ්දාක්‍ෂර
යට,කී තත්වයන් පිළිබඳව කෙටියෙන් හඳුන්වන්නේ නම්,
රූප සංකේත ලේඛන කලාවේ කු`ඵදුල් ම අවධිය ලෙස හඳුන්වා දිය හැක. මිනිසා භාවිත කරන ලද උපකරණ අශ්‍රිතව මෙම රූප අක්‍ෂර බිහි වී ඇත. මීට බොහෝ නිදසුන් ප්‍රාග් ඓතිහාසික ස්ථානවලින් සොයා ගෙන ඇත.
නිදසුන් :- ස්පාඤ්ඤයේ අල්ටමීරා
  ප්‍රංශයේ ලැස්ටෝ
ආදී ගුහා ආශ්‍රිතව චිත්‍රණය කර ඇති සිතුවම් තුළින් දෘෂ්‍යමය සන්නිවේදනයකට මානවයා අවතීර්ණ වූ බව පෙනීයයි.
අදහස් හා සංකේත තුළින් ද පෙරට වඩා දියුණු මට්ටමක සිට අදහස් ප්‍රකාශ කරන්නට මානවයා කල් යාමේදි හුරු විය. මෙහිදි තමන්ගේ අදහස්වලට පොදු සංකේත භාවිත කිරීමත් එකල මනවයා භාවිත කර ඇත. එක් ද්‍රව්‍යයකට එක් චිත්‍රයක් බැගින් භාවිත කරමින් සංකල්පමය අදහසක් ගොඩ නංවා ඇත. මෙහිදී සංකල්පය අර්ථවත් වූ බවක් හෝ පරිපූර්ණ වූ බවක් පිළිබඳව අදහසක් නොමැත. මෙහිදී ඇතිවුණ ප්‍රායෝගික ගැටලුව නම් අදහස් දහසකට සංකේත දහසක් භාවිත කිරීමට සිදු වීමය. මෙවැනි සංකේත 5000ක් පමණ චීනයෙන් සොයා ගෙන ඇත.
නිදසුන් :-



සමාජයේ සංකීර්ණතාවය වැඩිවත්ම සංකේත පද රූප මඟින් දැක්වීම අතිශය අපහසුවන්නට ඇත. මේ නිසා නාම පද වර නැඟීම තුළින් එය මඟ හරවා ගැනීම සිදුුකර ඇත. මෙලෙස වචනවලට රූප සටහන් නිර්මාණ විය. ඒවා ශබ්ද ලෙස සන්නිවේදනය විය. එනම් චිත්‍ර මඟින් ජනිත කර ඇත්තේ ශබ්දයයි. සිංහල භාෂාවේ ඉතිහාසයට අනුව එය කොටස් හතරකට බෙදා දක්වයි.
1. සිංහල ප්‍රාකෘතය
2. ප්‍රථම සිංහලය
3. මධ්‍යකාලීන සිංහලය
4. නවීන සිංහලය
සෙනරත් පරණවිතාන මහතාට අනුව සිංහල භාෂාව ඉන්දු - ආර්ය ගණයේ භාෂාවක් ලෙස හඳුන්වා ඇත. කෙසේ මුත් කිනම් වකවානුවක සිට අක්‍ෂර භාවිත කර තිබේද යන්න තවමත් ගැටලු සහගත තත්ත්‍වයකි. මේ නිසා 19 වන සියවසේ පටන් යුරෝපීය මෙන්ම දේශීය උගතුන් සිංහලයේ සම්භවය පිළිබඳව විමර්ශනය කොට ඇත. වාග්විද්‍යාවේ එන විද්‍යාත්මක ක්‍රම උපයුක්ත කර ගනිමින් එකී පර්යේෂණ සිදු කර ඇත. ඉන් එළඹුණු නිරීක්‍ෂණ අංග දෙකකට බෙදා දක්වා ඇත.

01.සිංහල ඉන්දු-ආර්ය ගණයට අයත් භාෂාවකි.
02.අනාර්ය හෙවත් ඉන්දු - ආර්ය ගණයෙන් අන්‍යතර වූ භාෂාවක් යන්නය.
තවදුරටත් මෙය සංවාදයකට ලක් වී ඇති අතර එහිදි සිංහල ඉන්දු-ආර්ය භාෂාවට අයත් බව සළකන අතරම උතුරු ඉන්දීය නැගෙනහිර දිගට අයත් ප්‍රාකෘත විශේෂයකින් පැවත එන බවට කරුණු දක්වයි.
ලාංකීය අක්‍ෂර භාවිත කරමින් ලියැ වූ ලේඛන හමුවන්නේ බෞද්ධ ධර්ම දූතයෙන් පසුවය. එහිදී බෞද්ධ ධර්මදූතයන් වහනසේලා දේශනා කළ බස පිළිබඳව ගැටලු මතු වීමක් ද සිදුවේ.
කෙසේ හෝ සිංහල ප්‍රාකෘතය ක්‍රි.පු. තුන්වන සියවසේ සිට ක්‍රි.ව.සිව්වන හෝ පස්වන සියවස් දක්වා බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියැවුණු සෙල්ලිපි වල භාෂාව ලෙස හඳුනාගත හැක.
පැරණි ගුහා ලිපි
ගිරිලිපි අතරින් පැරණිතම ලිපි සොයා ගතහැක. මෙහි භාෂා තත්ත්වය සැම විටම ඒකාකාරය. බොහෝ විට මෙම ලිපියෙකින් පැවසෙන්නේ වැවක් හෝ ලෙනක් පූජාකරන ලද බවකි.
අ,ග,ත,න,ක,ර,ම යන අක්‍ෂර වැඩිවශයෙන් ගිරිලිපිවල භාවිත කර ඇති අතර මතු දැක්වෙන්නේ එම අක්‍ෂර සියවසෙන් සියවසට දක්වන ලද විකාශනය යි.













මෙලෙස ගිරිලිපිලින් ලිඛිත සාධක හමුවන අතර සාහිත්‍ය මුලාශ්‍රය තුළින්ද මහින්දාගමනයට පෙර පැවැති ලේඛන කලාවක් පිළිබඳව අනාවරණය කිරීම සිදු කර ඇත.

විජය කුමරුට අභිෂේකය සඳහා මහේෂිකාවක ගෙන්වා ගැනීම සඳහා මථුරා පුරයට දූතයන් යැවීම. මෙන් ම හසුන් පතක් භාවිත කරමින් එම කටයුතු සිදු කර ඇත.
පණ්ඩුරාජස්ස ධීතත්ථං සාමිනො සාමිභත්තිනො
අඤ්ඤෙඤසං වාපි ධීතත්ථං අමච්චානං ජනස්ස ච
මහා: 7 පරි 50 ගථා


සීඝං නාවාය ගන්ත්වාන දුතා තෙ මධුරං පුරං
පණ්නාකාරෙ ච ලෙඛ ච තස්ස රඤ්ඤෝ අදස්සයුං
මහා: 7 පරි 51 ගථා


එලෙස යැවූ විජය කුමරුගේ දූතයන් අත පිළිතුරු පතක් එවීම.
අට්ඨාරසන්නං සෙණීනං සහස්සං ච කුලානි සො
ලෙඛං දත්වාන පාහෙසි විජයස්ස ජිතාරිනො
මහා: 7 පරි 57 ගථා


සුමිත්ත කුමරුහට ලංකා රාජ්‍ය භාර දීමට පැමිණෙන ලෙස ආරාධනා කොට යැවූ හසුන් පතක් පිළිබඳව සඳහන් වේ.

අථාමච්චෙහි මන්තෙත්වා ලෙඛං තත්ථ විසජ්ජයි
ලෙඛං දත්වාන විජයො න චිරෙන දිවං ගතො
මහා: 8 පරි 03 ගථා


ක්‍රි.පූ.4 වන සියවසේ දී පණ්ඩුකාභය කුමරු පණ්ඩුල බ්‍රාහ්මණයා සමීපයේ ශිල්ප හැදෑරූ බවට මහාවංසය සාක්‍ෂි දරයි,
සිප්පං උග්ගණ්හ තාතාති සිප්පුග්ගහමකාරයි
චන්දෙන චස්ස පුත්තෙන ඛිප්පං සිප්පං සමාපිතං
මහා: 10 පරි 23 ගථා


අභය රජු ගඟින් මෙතෙර රාජ්‍ය කරන අතර පණ්ඩුකාභය කුමරු ගඟෙන් එතෙර රජකම් කරන ලෙස යැවු රහස් ලියවිල්ල.
ගන්ත්වො පතිස්සගාමං තෙ තමත්ථං රාජිනො බ්‍රවුං
සාජා ලෙඛං කුමාරස්ස සරහස්සං ස පාහිණි
මහා: 10 පරි 48 ගථා


සාහිත්‍ය මුලාශ්‍රය තුළින් හමුවන සාධක තුළින් ප්‍රතියමාන වන්නේ බුදු දහම රැගෙන ඒමටත් පෙර සිට ලාංකිකයන් පණිවිඩ හුවමාරුකර ගැනීමට ලිඛිත ක්‍රමවේදයන් භාවිතකර ඇති බවයි.
පුරාණතම ශිලාලේඛන ලෙස මතු දැක්වෙන ශිලා ලිපි හඳුන්වා දිය හැක.

“දෙවනපිය මහරඣ ගමිණි උති”
මිහින්තලා ලෙන් ලිපිය
“පරුමක පලිකද පුත උපසක පරුමක ලෙණෙ චතුදිස ශගශ”
වෙස්සගිරය ලෙන් ලිපිය
“දෙවනපිය මහරඣහ ගමිණි - තිසහ පුත දෙවනපිය තිස අබයහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ”
රිටිගල ලිපිය

මෙලෙස බ්‍රාහ්මීය අක්‍ෂරවල සිංහල භාෂාව ආරම්භ වූ බව පැහැදිලිය. යටකී සමය තුළ ඇති බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියැවුණු ලිපි පාලි භාෂාවට පරිවර්තය කළ විට එහි ඇති සුවිශේෂි සබඳතාවක් පෙනී යයි.
“දෙවන පිය මහරඣහ බරියස බකිනිය උපශික වරුණදතය ලෙණෙ”
මිහින්තලා ලිපිය
“දෙවානං පිය මහාරාජස්ස භරියය භගිනයා උපාසකා වරුණදන්තාය ලෙණං”

“මහරඣහ දෙවන පියශ ගමණි තිශහ වෙඣ බණෙ ගොබුනිය ලෙණෙ ශගශ”
 පුත්තලම පිච්චන්ඩියාව ලෙන

“මහාරාජස්ස දෙවානං පියස්ස ගාමිණි තිස්සස්ස වෙජ්ජ බ්‍රාහ්මණා ගෝභූතිකස්ස ලෙණං සංඝස්ස”

මෙහිදී මෙම ලිපි අතර යම් බඳු සාම්‍යයක් දක්නට ලැබේ. මෙලෙස අශෝක ප්‍රාකෘතය සහ සිංහල ප්‍රාකෘතය යන දෙකම එකම භාෂාවක උපභාෂාවක් ලෙස පෙන්වා දිමට විද්වතුන් පෙළබේ. කෙසේ හෝ ගයිගර් වැනි විද්වතුන් පැරණි ශිලාලිපිවල භාෂාව සිංහල ප්‍රාකෘතය ලෙස පැවසීම කිසිදු ගැටලුවක් නැති බවද සඳහන් කර ඇත.
සිංහල ප්‍රකෘතය තුළ හැසිරුණ වර්ණ මාලාව මෙලෙස දැක්විය හැක.
ස්වර 05


ව්‍යඤ්ජන 20







(ඣ ශ)

මෙම සිංහල ප්‍රාකෘතය භාෂාවේ පැවැති භාෂාමය ලක්‍ෂණ කිහියක් පිළිබඳව අවධානයට ලක්කරමු.
දීර්ඝාක්‍ෂර හ්‍රස්ව වීම :- උපාසිකා උපශික
උපාසක උපසක
ආගත අගත
අනාගත අනගත

මහප්‍රාණ අක්‍ෂර අල්පප්‍රාණ අක්‍ෂර වීම.
සංඝ සග
ඡත්ත චත
රට්ඨ රට
අභය අබය
සංයුක්තාක්‍ෂර කේවලාක්‍ෂර බවට පත්වීම.
ධම්ම දම
පුත්ත පුත
තිස්ස තිස

අනුස්වාර ලෝපය
වංස වස
හංස හස
අරියවංස අරියවස

ස කාරයට හ කාරය වීම
සකට හකට
සමණානං හමාණානය

තලුජ ශ කාර භාවිතය
චතුදිශ ශගශ
පුශගුනශ



ඝෝෂ අඝෝෂ වීම
නගර නකර
නාග ණක
යාගු යාතු
නාකදීප නකදිව
බණ්ඩාගාරික බඩකරික

අඝෝෂ ඝෝෂ වීම
කාචරගාම කඡරගාම
පාචීන පඡින
සකට හකඩ
කුටිකණ්ණ කඩකණ
ථූපාරාම තබරබ
අභය අබය

මෙලෙස භාෂාමය ලක්‍ෂණ රැසක් ද සිංහල ප්‍රාකෘත භාෂාවේ දක්නට ලැබේ.
මධ්‍යකාලීන සිංහලය ලෙස තවදුරටත් වර්ධනය වේ. ක්‍රි.ව.8 වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවසේ මැද දක්වා මෙය විකාශනය වී ඇත. මෙම කාලය පිළිබඳ ඇති භාෂාව හැදැරීමට තුන්වන කාශ්‍යප රජ දවස ලියැවුණ ගැරඬිගල ශිලාලිපිය හදුන්වා දියහැක. මින් අනතුරුව 9 වන සියවසේ අධික ශිලා ලිපි ප්‍රමාණයක් හමුවවේ. මෙම ලිපිවල රජවරුන්ට ලබා දුන් අභිධානයක් ලෙස සංඝබෝධි සිලාමේඝ වණ්න ආදිය පෙන්වා දිය හැක.
මධ්‍යකාලීන සෙල්ලිපි භාෂා ශෛලිය අතින් ද පදයෝග විද්‍යාව අතින් ද ඇතැම් විට ව්‍යාකරණය අතින් ද පැරණි ස්වරූපයකට නෑකම් කියයි. මෙලෙස ගමන් ගන්නා සෙල්ලිපිවල භාෂාව නවීන බසට කෙමෙන් ළංවන බවට සාධක හඳුනාගත හැක.
ක්‍රි.ව.831 -851 දක්වා විසූ සේන රජු විසින් රචිත සියබස්ලකර කෘතිය ද, දසවන සියවස දම්පියා අටුවා ගැටපදය  ද ,සිඛවලඳ විණිස 12 වන සියවසේ දී ද ලියැවී ඇත. මෙය භික්‍ෂූ සංඝයාගේ විනය නීති පිළිබඳ ලියැවිණ. දහතුන් වන සියවසේ දි රචිත ගුරු`ඵගෝමීන්ගේ අමාවතුර, ධර්මප්‍රදීපිකාව මෙන් ම ධර්මසේන හිමිගේ සද්ධර්මරත්නාවලිය මධ්‍යකාලයේ ලියැවූණ කෘතීන් ය. සමකාලීන ශිලාලේඛනයන්ගේ බස සමහර විටක මඳක් උසස් බවක් පෙන් වූ නමුත් කෘතින් වල ඇති භාෂාව හා සමතාවයක් දක්නට ලැබේ. මෙලෙස ගමන්ගත් සිංහල භාෂාවේ ඊළඟ පියවර වූයේ නවීන සිංහලයයි.
සංස්කෘත භාෂාවට  පාණිනියන් ද,
පාලියට  කච්චායනයක් ද,
සිංහල භාෂාවට  සිදත් සඟරාවක් ද, මුසු වූ නිසාවෙන් එක්තරා තත්ත්‍වයකට භාෂාව ගමන් ගත් සේයක් පෙනේ. ලාංකීය භාෂාව අවශෝෂණය කර ගත් යුරෝපීය භාෂාමය කොටස් නිසාවෙන් නවීන සිංහලයේ හැඩය තව තවත් වෙනසකට භාජනය විය.
මෙලෙස බ්‍රාහ්මීය අක්‍ෂර වලින් අරම්භ වූ සිංහල භාෂාව විවිධ තත්ත්‍වයන් ඔස්සේ ගමන් කර ඇත.එමඟින් පෝෂණය වූ භාෂාව අතිෂය පිරිපුන් භාෂාවක් බවට පරිවර්තනය විය. ඊට නිෂ්චිත වූ වර්ණ මලාවක් ද ආරෝපණය විය. යටකී කරණුවලට අනූකූලව මෙතෙක් දුරට පෙන්වා දුන් සිංහල අක්‍ෂර කලාවේ ප්‍රභවය සහ විකාශනය පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකි බව සිතිය හැක.


අමරවංස නාහිමි අකුරටියේ,දිසානායක හේමචනද්‍ර;වංසත්ථප්පකාසිනී ;පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත්උපාධි ආයතනය - කැලණිය විශ්වවිද්‍යාලය.
පඤ්ඤාසාර හිමි ඔක්කම්පිටියේ ;නිමල් මල්ලව ආරච්චි;සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන,මාධවී ප්‍රින්ටර්ස් ,බුලුගහ හන්දිය .කැලණිය
මහාචාර්ය ගයිගර්  විල්හැම් ; සිංහල භාෂාවේ ව්‍යාකරණය; අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේනතුව,
මහාචාර්ය බලගල්ලේ විමල් ජී. ;සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය;ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ මරදාන,කොළඹ 10

පඬු අබා රජු දවස ඇති කළ සංස්කෘතික සහජීවනය.

                   ලාංකීය ඉතිහාසය තුළ නොමැකෙන මතක සටහන් ශේෂ කළ රජවරුන් අතර  පණ්ඩුකාභය රජුට හිමිවන්නේ සුවිශේෂ  ස්ථානයකි. ක්‍රි.පූ.437-367 අතර කාලය තුළ රජ්‍යත්වය හිමි වූ මෙතුමා ලාකිකයන් අතර ප්‍රබල ජනාදරයකට ලක් කිරීමට වංශ කතා කතුවරුන්ගේ ලිඛිත ශෛලය අත්‍යන්තයෙන් ම ඉවහල් වූ බව පෙන්වා           දිය යුතුය. මේ වූ රජු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මූලාශ්‍රය වන්නේ, දීපවංසය, මහාවංසය, වංසත්තප්පකාසීනි, සමන්තපසාදිකාව වැනි ප්‍රථමික මුලාශ්‍රයන් ය. මෙම මූලාශ්‍රයගත තොරතුරු අනුව මෙතුමා ඇති කළ සමාජ සහජීවනය පිළිබඳව විමර්ශනය කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.

                   පණ්ඩුකාභය රජුට මෙලෙස සමාජ සහාජීවනයක් ඇති කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වුයේ කෙසේ ද යන්න අවධානය යොමු කළ යුතුය. රාජ්‍යත්වය ලැබීමට පෙර සහා රජ්‍යයත්වය ලැබීමෙන් පසුව ලැබූ අත්දැකීම් තුළින් එම අවබෝධ ඇති කරගත් බව මතු දැක්වෙන කරුණු තුළින් අණාවරණය කර ගත හැක.

පණ්ඩුකාභය කුමරුගේ කුඩා අවධිය පිළිබඳව විමසීම සිදු කළහොත් ,එතුමන්ගේ මව වශයෙන් වංශකතාකරුවන් සඳහන් කරන්නේ චිත්‍රා කුමරියයි. එමෙන්ම පියා වශයෙන් දක්වා ඇත්තේ දීඝ ගාමිණි කුමාරයා යි. ඔහු භද්දකච්චයනා කුමරියගේ (පණ්ඩුවාසදේව රජුගේ බිසව) සොහොයුරන් විසින් නිර්මාණය කරන ලද දීඝවාපී ප්‍රදේශයේ විසූ දිඝායූගේ පුත්‍රරත්නයයි. මෙසේ දීඝගාමිණි කුමාරයාගේ හා චිත්‍රා කුමරියගේ සබඳතාවය නිසාවෙන් පණ්ඩුකාභය කුමරු උපන් අතර එමඟින් පසු කාලයකදී වයඹ දිග ප්‍රදේශ මෙන්ම ගිණිකොණ දිග ප්‍රදේශ අතර අන්තර් සබදතාව වර්ධනය වීමක් සිදු වූ බව සඳහන් කළ හැක.



“මාතාමහස්ස නාමං ච ජෙට්ඨස්ස මාතුලස්ස ච

එකං කත්‍වා තමකරුං පණ්ඩුකාභය නාමකං”

මහා: 9 පරි 27 ගථා



මෙලෙස චිත්‍රා කුමරියගේ දරුවාට නම් තැබීම සිදු කර ඇත. මෙහි එන එකං කත්‍වා තම කරුං යන පදය පිළිබඳව විවිරණය  සිදු කරන වංසත්ථප්පකාසිනිය පෙන්වා දෙනුයේ පණ්ඩුවාසදේවය, අභය යන ඒ දෙපුතුපියන් ගේ නම් එක් කොට යොදා ඒ කුමරු පණ්ඩුකාභය යනුවෙන් නම් කළහ යන අර්ථයයි. එසේම මෙම පණ්ඩුකාභය යන නාමය මහාවංසය තුළත් සමන්තපසාදිකාව තුළත් එලෙසම භාවිතා කර ඇතත් දීපවංසය තුළ කුමරුගේ නාමය මෙලෙස හදුන්වා ඇත.

“අභය වීසති වස්සෝ චොරෝ අසි පකුණ්ඩකෝ නාම”

මෙසේ සිදු කරන විස්තරය තුළින් කුමාරයගේ නාමය පකුණ්ඩක ලෙස තෝරා ගත හැක. ඉන් නොනැවතුනු වංසකතාකරු තවත් විස්තර කිරීමක් සිදු කර ඇත. එනම් චොරෝ යනුවෙනි. මෙසේ චොරෝ යනුවෙන් හැඳින්වීමට දීපවංස කතුවරයා උත්සහා ගත්තේ සාධාරණීය හේතුවකට විය යුතුය. එනම් චිත්‍රා කුමරියගේ උපත සමඟ වේදය පරතෙරට පත් බ්‍රහ්මණයන් නිමිති ප්‍රකාශ කර ඇත. එහිදි එම කුමරිය අනාගතයේ පුතෙකු බිහි කළහොත් ඔහු තම මාමා වරුන් මරා දමා රජ වන බව ප්‍රකාශ කර ඇත. පණ්ඩුකාභය කුමරු විසින් එසේ සිදුකරන ලද නිසාවෙන් ම දීපවංසකතාකරුවා කුමරු සොරෙකු ලෙස දක්වන්නට ඇති බව සිතිය හැක.

එසේ සිතීම වරදක් නොවන්නේ මෙතුවක් පුරා රාජ්‍ය අනුප්‍රාප්තිකයා තීරණය වූයේ එක්තරා පිළිවෙළකටය. නමුත් පණ්ඩුකාභය කුමාරයාට හිමිකමක් නොතිබූ රාජ්‍යත්වයක් ලබා ගැනීම චෞර ක්‍රියාවක් ලෙස දීපවංසකරුවා පෙන්වා දී ඇත.

මෙලෙස අතිශය ප්‍රබල මනුෂ්‍ය ඝාතනයක් සිදුවීමත් ,පණ්ඩුකාභය කුමරු නමින් ලාංකීය ඉතිහාසයට රජෙකු නිර්මාණය වීමත් සිදුවූයේ චිත්‍රා කුමරිය උපන් අවස්ථාවේ ප්‍රකාශ කළ නිමිති නිසාවෙනි. එලෙස නිමිත්තක් ප්‍රකාශ නොවූනානම් විටෙක ලාංකීය රාජ්‍ය නාමාවලිය තුළ ප්‍රබල විචල්‍යක් සිදුවනු බව සිතිය හැක.

කුමාරයා උපන් මොහොතේ පටන් චිත්‍රා කුමරිය ප්‍රබල උපක්‍රම යොදමින් කුමරා රක්ෂා කිරීමට කටයුතු කර ඇත.දොරමඩලාව නම් ගොපලු ගමට කුමරු පිටත් කර හැරීම සිදු කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය.

මෙසේ කුමරුට හමුවන අලුත් ජීවිතය සමඟ විවිධ සමාජ ස්ථරයන් ස්පර්ශ කිරීමට හැකියාව ලැබී ඇත. එමගින් වූ යහපත නම් කුමරුට සියලු සමාජ ස්ථරයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වීමයි. කුමරුන් ස්පර්ශ කළ සමාජ ස්ථර සැකෙවින් දැක්වුවහොත්,

x         දොරමඩලාවේ විසූ ගොපලු පිරිස් නියෝජනය කළ සමාජ ස්තරය

x         පණ්ඩුල බ්‍රහ්මණයගෙන් අධ්‍යාපනය ලැබූ අවධියේදී එම සමාජ ස්තරය

x         උපකාර ලබාගත් යක්‍ෂ ගෝත්‍ර අතුළත්ව ලාංකීය දේශිය ජනයා නියෝජනය කළ සමාජ ස්තරය ආදිය පෙන්වා දිය හැක.



මේ නිසාවෙන් කුමරුට ලාංකීය ජන සමාජයේ විවිධ සමාජ ස්තරයන් සමඟ ජීවත් වීමට අවස්ථාව ලැබු බව පැහැදිලිය. රාජ්‍යයත්වය ලැබීමෙන් පසුව ක්‍රියාත්මක කළ සමාජ සහාජීවනය සාර්ථක කර ගැනීමට කුමරුගේ මෙම අවබෝධය ප්‍රබල ලෙස හේතු වන්නට ඇති බව සිතිය හැක.

විටෙක රජවරුන් සාමන්‍ය වැසියන්ගේ ජීවන තත්වය පරීක්‍ෂා කිරීමට වෙස් වලාගෙන ජනයා අතර සැරීසැරීම සිදු කර ඇති බව අප අසා ඇත. නමුත් පණ්ඩුකාභය කුමරු රාජ්‍ය ධූරාවලියේ පහළ සිටි පුරවැසියන් අතර හැදී වැඩීම නිසාවෙන් එසේ සිදු කිරීමට අවශ්‍ය නොවූ බව සිතිය හැක. සාමන්‍ය වැසියන්ගේ අශා අපේක්‍ෂා පිළිබඳව පු`ඵල් අවබෝධයක් රජුවිසින් තමා මුලින් ජීවත් වූ ග්‍රාමීය ජිවිතයෙන් ලබාගෙන ඇත. දොරමඩලාව නම් ග්‍රාමයේ විසූවන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මතු දැක්වෙන මහාවංසයේ ගාථාව වැදගත් වේ.

“පුන සුත්වාන ජීවන්තං කුමාරං තස්ස මාතුලා

තත්‍ථ ගොපාලකෙ සබ්බේ මාරෙතුං සන්නියොජයුං”

මහා: 10 පරි 13  ගථා

කුමරයා ජීවත්වන බවට තොරතුරු දැනගත් මාමාවරු ප්‍රථම අවස්ථාවේ කුමරයා මරා දැමීමට කටයුතු කළ ද එය අසාර්ථක විය. දෙවනි වර ද ඔහු මරා දැමීමට කටයුතු සම්පාදනය කිරීම සිදු කර ඇත. එහි දී යථෝක්ත ගාථාවෙන් අපගේ මාතෘකාව සඳහා වැදගත් වන්නේ තත්‍ථ යන පදයෙන් අදහස් කළේ කුමක්ද යනවගයි. එය වංසංත්තප්පකාසීනියේ දක්වා ඇත්තේ දොරමඩලාව නම් ග්‍රාමය බවයි. එනම් මෙම ග්‍රාමයේ  ගොපල්ලන් සිටි බව පැහිදිලිය. පණ්ඩුකාභය කුමරු අවුරුදු දහසයක් වනතුරුම මෙම ගොපලු ගමේ ජීවත් වී ඇත. මෙම කාලය තුළ ලබාගත් අත්දැකීම් කුමරු රජවීමෙන් පසුව ක්‍රියාත්මක කළ සහාජීවනයට සෘජුවම බලාපා ඇත.

මීලඟට කුමරු සමාජයේ ප්‍රබල ස්ථානයක් හිමිකරගත් බ්‍රහ්මණ සමාජ ස්තරය ස්පර්ශ කිරීම සිදු කර ඇත.

“ආයුත්තෝ මාතුසන්දෙසං සබ්බං තස්ස නිවෙදයි

දත්‍වා දාසං සහස්සං ච පෙසෙසි පණ්ඩුලන්තිකං”

මහා: 10පරි 19 ගථා

මව්තුමිය විසින් සන්දේශයක් ආයුත්තයෙකු හරහා කුමරයා හටත් පණ්ඩුල නම් වේදයෙන් අගතැන්පත් බ්‍රාහ්මණයා හටත් භාර දී ඇති බව මින් විස්තර කෙරේ. ඊට ගෙවීම් පවා සිදු කළ බව ඉහත ගාථාව සක්‍ෂි දරයි.මෙසේ මෙම අධ්‍යාපනය කුමරුට ලබා දීම චිත්‍රා කුමරියගේ පූර්ණ මැදිහත් වීම මත සිදු කර ඇත. අනාගතයේ එකම අරමුණක් උදෙසා ම කුමරුව සකස් කිරීම මෙහි අපේක්‍ෂාව වී ඇත. පණ්ඩුල බ්‍රහ්මණයාගේ පුත් චන්ද්‍ර බ්‍රහ්මණයාගෙන් පවා පණ්ඩුකාභය කුමරු අධ්‍යාපනය ලබා ඇත.

මේ අනුව පණ්ඩුල බ්‍රහ්මණයා හරහා අධ්‍යාපනය ලැබූවන්  එවකට සමාජයේ ඉහළ මට්ටමක සිටි පුද්ගලයන් බව සිතිය හැක. කුමරු මෙම අධ්‍යාපනය ලබන කාලය තුළ එකී සමාජයේ අශා අපේක්‍ෂාවන් පිළිබඳව පු`ඵල් අවබෝධයක් ලබා ගන්නට ඇති බව සිතිය හැක.එමඟින් අනාගතයේ ලාංකීය ජන සමාජය තුළ සමාජ සහජීවනයක් ඇති කරලීමට අවශ්‍ය මූලික පසුබිම මෙලෙස සකස් කර ගත් බව පෙන්වා දිය හැක.

ඉන් අනතුරුව කුමරු නිසි අධ්‍යාපනය වහා සම්පූර්ණ කළ පසු රාජ්‍යයත්වය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම් සිදු කර ඇත.ඊට පණ්ඩුල බ්‍රහ්මණයා විසින් බෙහෙවින් උපකාර කර ඇත. එම උපකාර සද්භාවයෙන් සිදු කළාද යන්න ගැට`ඵ සහගතය. මන්ද රජ වීමෙන් අනතුරුව පුරෝහිත ලෙස චන්ද්‍ර බ්‍රහ්මණයා පත් කරන ලෙස ඉල්ලීමක් සිදු කර ඇත.එනම් මෙම සමාජ පන්තියේ අපේක්‍ෂාවක් ලෙස කුමරු මෙම තත්වය අවබෝධ කර ගන්නට ඇත.

ඊට එකඟවූ කුමරුට පණ්ඩුල ග්‍රාමයෙන් පන්සීයයක් බලසේනාවක් රැස් කර දී ඇත.තවත් බල සේනාව ශක්තිමත් කර ගැනීමට ඔහු ගිරිකණ්ඩ නම් පර්වතය දෙසට ගමන් කළ බවත් එහිදි  කුමරුට පාලි කුමරිය මුණ ගැසුණ බවත් පණ්ඩුල බ්‍රහ්මණයා පළ කළ අනාවැකි අනුව තමාට සුදුසුම බිරිඳ ලෙස ට ඇය තෝරා ගැනීම ද සිදු විය. ඉන් අනතුරුව ඇය පැහැරගෙන ගොස් බවත් සඳහන් කර ඇත. මෙම පැහැර ගැනීම නිසා කෝපයට පත් ගිරිකණ්ඩශිවගේ මෙහෙය වීම මත පණ්ඩුකාභය කුමරුට එරෙහිව සටන් කිහිපයක් මෙහයවා ඇත. එහිදී යුද්ධයට පැමිණි පාලි කුමරියගේ සොහොයුරන් ඇතු`ඵ පිරිස මරා දැමීමට චන්ද්‍ර බ්‍රාහ්මණයා ඇතු`ඵ පිරිස සමත් වී ඇත.

කෙසේ හෝ පාලි කුමරියගේ සබඳතාව නිසාවෙන් පණ්ඩුකාභය කුමරුට ක්‍ෂ්ත්‍රීයයන් නියෝජනය කළ සමාජ පන්තිය සමඟ මුසුවීමට වරම් හිමි විය. කුමරු ක්‍ෂ්ත්‍රීය වුවත් ඔහුට එම පරිසරය තුළ ශ්වසනය කිරීමට වු කාලය ඉතාම අල්පය. පාලි කුමරියගේ හමුවීම මත කුමරුට ක්‍ෂ්ත්‍රීයන් ගේ ආකල්ප  පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව සිතිය හැක. එය එසේ වීම නිසා අනාගතයේ ලාංකීය ජන සමාජය තුළ ඇති කළ සහජීවනය අතිශය සාර්ථක කර ගන්නට හැකි වූ බව සිතිය හැක.

මෙලෙස ක්‍රමයෙන් යුද්ධ සඳහා පෙළඹුණ කුමරුට සේනාවේ ශක්තිය තව දුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය විය. එහිදී ලංකාව තුළ වාසය කල දේශීය ජන කොටස් වලින් උපකාර ලබා ගැනීමට කුමරුට අවශ්‍ය වීය. ඒ අනුව කුමරු දේශිය ජනකොටස් සොයා මහවැලි නදියෙන් එතෙරට ගමන් කර ඇත. එහි යක්‍ෂ නායිකාවක් වාසය කර ඇත. මෙම කාලයේදීම කුමරුට විරුද්ධව මාමාවරුන් ප්‍රබල සටන් මෙහෙයවා ඇති අතර අවසානයේ කුමරු සහ අභය නම් මාමා සමඟ රහස් ගිවිසුම්ක් පවා හුවමරු වී ඇත.

“භුඤ්ජස්සු පාරගඩ්ගං ත්‍වං මාගා ඔරං තතො ඉති

තං සුත්වා තස්ස කුජ්ක්‍ධිංසු භාතරො නව රාජිනො”

මහා: 10 පරි 49 ගථා



“භුඤ්ජස්සු පාරගඩ්ගං ත්‍වං” යන වචනට අර්ථකථනය දෙන වංසත්ථප්පකාසීනිය සඳහන් කරන්නේ   “තෙපි ගඟෙන් එතෙර භුක්ති විදිව,මෙතරට නොඑවු යි යන්නය”. මෙම රහස් ලිපිය රහසක් නොවී අනෙකුත් සොහොයුරන්ට දැන ගනීමට හැකිවීමෙන් අනතුරුව අභය රජුව මරා දැමීමට කටයුතු සංවිධානය කර ඇත.

“සො තෙසං රජ්ජමප්පෙසි තෙ තිස්සං නාම භාතරං

සබ්බේව සහිතාකංසු රජ්ජස්ස පරිණායකං”

මහා: 10 පරි 51 ගථා

ගාථාවේ සමස්ත අර්ථය ලෙස මෙසේ දැක්විය හැක. සියලු සොහොයුරන්ගේ එකතුවෙන් තිස්ස නම් සොහොයුරාව රජු ලෙස තෝරා පත් කර ගෙන ඇත. “රජ්ජමප්පෙසි” යන වචනය පිළිබඳව වඩාත් අර්ථ විග්‍රහයක් සිදු කරන වංසත්තප්පාකසීනිය සඳහන් කරන්නේ,“මා හට කමා කරවු මම මහලුව ගියෙමි. මට රාජ්‍යයෙන් කම් නැත. එය ඔබ අතුරෙන් සුදුසු සොහොයුරකු හට දෙව’යි ”යන්න අභය රජු විසින් සිදු කළ ප්‍රකාශය බවයි. මෙලෙස උපතිස්ස නුවර තත්වය මෙසේසිදුවන විට කුමරු ඊට සමගාමීව රජ්‍ය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත.

“වස්නතී ධූමරක්ඛාගෙ සරෙ තුම්බරියංගණෙ

චරතෙ වළවාරූපා යක්ඛීණි චෙතියනාමිකා”

මහා: 10පරි 53 ගථා

“ධූමරක්ඛාගෙ” යනු වර්තමාන දිඹුලාගල නම් ප්‍රදේශය බව අවබෝධ කර ගතයුතුය. එනම් මහවැලි ගඟෙන් මෙතර ප්‍රදේශයයි. “වළවා රූපා” යනුවෙන් විස්තර කර ඇත්තේ වෙළඹක හා සදිසි, වෙළඹකගේ අකාර ඇති, වෙළඹකගේ වෙස් ගත් යක්‍ෂණීයකැයි වංසත්ථප්පාකාසීනිය පෙන්වා දෙයි. එම යක්‍ෂණියගේ නාමය චේතියා වන අතර මෙම යක්‍ෂණිය පිළිබඳව අතිශය වැදගත් කරුණක් වංසත්ථප්පාකාසිනිය මඟින් හෙළිකර ඇත. එනම් මෙම යක්‍ෂණිය එම පර්වතය කේන්ද්‍ර කරගෙන වාසය කළ ජුතින්ධර නම් යක්‍ෂයෙකුගේ බිරිඳක් ලෙස විස්තර කර ඇත. මෙම යක්‍ෂයා සිරිශාවස්තු පුරයේදී ඇත් වුණ සටනින් පසු මිය ගියබවක් උතුරු වෙහෙර අටුවා වේ සඳහන් බවට පෙන්වා දී ඇත. මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නෙ නම් විශේෂයෙන් මෙම චේතිය යක්‍ෂණිය ගේ ආයුෂය පිළිබඳව ගැටලුවක් ඇති වේ. මන්ද මේ වන විට සිරශාවස්තු පුර සටන සිදු වී බොහෝ කාලයක් ගත වූ හෙයිනි. විජය කුමරු ලාංකාවට පැමිණිමෙන් අනතුරුව දේශිය ජන කොටස් පරාජය කළ එම සටනින් මොහු මිය ගිය නිසාවෙන් චේතියනම් යක්‍ෂණිය අතිශය වෛරයකින් ආර්යය ජනයා දෙස බැලූබව සාධාරණය. මෙම යක්‍ෂණීය කුමරු විසින් අල්වා ගෙන ඇති බව වංසා කතා කරු අතිශය වර්ණනා මුඛයෙන් සඳහන් කර ඇත. එහිදී යක්‍ෂණිය කුමරුට රාජ්‍ය ලබා ගැනීමට උපකාර කරන බවට පොරොන්දු වී ඇත. උතුරු වෙහෙර අටුවාවට අනුව මෙම චෙතියා යක්‍ෂණි සමඟ කුමරු එම පව්වේ ඇයගේ නිවසේ අභිරමණය කරමින් සත් දවසක් ගත වූ තැන අරිට්ඨ පර්වතය (රිටිගල) පෙදෙසට ගොස් සත් වසරක් වාසය කර ඇත. මෙසේ බොහෝ කාලයක් සුදුසු කල් පැමිණෙන තුරු ඉවසා සීටිමක් පණ්ඩුකාභය කුමරු විසින් සිදුකර ඇත. එසේ සිටිමින් හා යක්‍ෂණියගේ මහත් උපකාර මැද මාමාවරුන් පරාජය කොට සටන් ජයගැනීමට හැකිවී ඇත. සුවිශේෂි කරුණ වන්නේ ගිරිඛණ්ඩ ශිව මාමාත් අභය මාමාත් ශේෂ වන්නට අනිත් මාමාවරු අට දෙනාම මරා දමා ඇත. මෙහිදී මෙම සටන් වලින් මිය ගියේ මාමා වරුන් පමණක්ම ද යන්න ගැට`ඵ සහගත්ය. මන්ද මේ වන විට ගිරිඛණ්ඩ ශිව මාමාගේ පුත්‍රයන් මිය ගොස් තිබිණ. එසේ වූයේ නම් ඊට සමකාලීන අනෙකුත් මාමා වරුන්ට පුත්‍රයන් හෝ දුහිතෘවරුන් සිටියේ නැද්ද යන වග වංසකතාකරු කරුණු හෙළි නොකර ඇත. පණ්ඩුකාභය රජුගේ මාමා වරුන් දස දෙනා වූයේ අභය, තිස්ස, අසේල, විභාත, රාම, ශිව, මන්ත, කලෙහ, මත්ත ලෙස දීපවංසය පමණක් තොරතුරු ඉදිරිපත් කර ඇත. මහාවංසය තුළ අභය, තිස්ස, ගිරිකණ්ඩ ශිව ගේ නාමයන් පමණක් හෙළි කර ඇත.

පණ්ඩුකාභය කුමරු මෙම යටකී මාමාවරුන් දසදෙනාගෙන් අට දෙකනු මරා රජ වී ඇත. එහිදී වැදගත්ම තීන්දුවක් ලෙස පෙන්වාදිය හැක්කේ සියවස් දහතුනකට ආසන්න කාලයක් අගනුවරක් ලෙස ලාංකීය ඉතිහාසය අලංකෘත කළ අනුරාධපුර ග්‍රාමය පුරයක් ලෙසට පත් කිරීම මොහුගේ මැදිහත් වීම මත සිදු කර ඇත.

“නිවා සත්තානුරාධානං”

මහා: 10පරි 76ගථා

එසේ අගනුවර නාමය අනුරාධපුරය යන නම තෝරාගැනීමට හේතු වූ කරුණු මෙලෙස දැක්විය හැක. විජය කුමරු හා සමඟ පැමිණි අනුරාධ ඇමතියා ද භද්දකච්චයනා කුමරිය ගේ සොහොයුරු වු අනුරාධ කුමාරයාද යන මේ කුමාරවරුන් වාසය කළ නිසාද, අනුර නැකතින් පිහිටවු නිසා ද අනුරාධපුර යන නාමය භාවිතා කර ඇත.

කුමරු රජ වීමේ දී පුරාණයේ පැවති සම්ප්‍රදායික තත්ත්වයන් එලෙසම ඉටු කරමින් අභිෂේකය සිදු කර ඇත. පාලි කුමරිය තම අගබිසව ලෙස සරණ පවා ගෙන ඇත.ඇය එතැන් පටන් ස්වරණපාලි නමින් ප්‍රකට විය.

මෙලෙස කුමරු ලාංකීය ධරණිතලය මත රාජ්‍යත්වයට පත් වීමෙන් පසුව සමාජය තුළ සහාජීවනය ඇතිවීමට අවශ්‍ය සාධක බිහිකිරීමට මැදිහත් වී කටයුතු කර ඇත. මූලික වශයෙන් රජු රටේ සාමය සමතුලිතව පවත්වා ගැනීමට අවශ්‍ය මූලික තිරණය ලෙස පුරෝහිත තනතුර පොරොන්දු වූ පරිදි ම චන්ද්‍ර බ්‍රහ්මණයාට ලබා දී ඇත.

“අදා චන්ද කුමාරස්ස පොරොහිච්චං යථාවිිධි”

මහා: 10 පරි 79 ගථා

චන්ද්‍ර කුමාරයා එලෙස පුරෝහිත තනතුරු ලබා නොදී සිටීමට රජු කටයුතු කළේ නම් සිදු විය හැකි තත්ත්වය අතිශය භයංකාර විය යුතුය. මන්ද චන්ද කුමාරයාද අතිදක්ෂයෙකු පමණක් නොවේ ඔහුට පක්‍ෂපාතී යුධසෙබලුන් පවා සිටි බවට වංසකතාකරුවන් සඳහන් කරන නිසාවෙන් කිසිදු ගැට`ඵවකින් තොරව අභියෝග එල්ල කිරීමේ හැකියව ඔහුට තිබිණ. කෙසේ වුවත් පණ්ඩුකාභය රජු සමාජ සහජීවනය පවත්වාගැනීමේ පූර්ණ අපේක්‍ෂාව නිසාම හා කළ ගුණ සැලකිම ප්‍රකට කරමින් පුරෝහිත තනතුර ඔහුට ලබා දී ඇත.

එසේම සමාජ සහජීවනය ස්ථාවර කරගැනීම සඳහාම රජු විසින් තම මාමා වරුන් දෙදනාට තනතුරු ලබා දීම ද සිදු කර ඇත.

“රත්තිරජ්ජං අදා තස්ස අහූ නගරගුත්තිකො

තදුපාදාය නගරෙ අහුං නගරගුත්තිකා”

මහා: 10 පරි 81 ගථා

“සසුරං තං අඝාතෙත්වා ගිරිකණ්ඩසිවං පි ච

ගිරිකණ්ඩදෙසං තස්සෙව මාතුලස්ස අදාසි සො”

මහා: 10 පරි 82 ගථා



යථෝක්ත ගාථා දෙකට අනුව රජු විසින් තමාගේ මවට මෙන්ම තමාගේ ජීවිතය රැක ගැනීමට උපකාර කළ අභය මාමා රාත්‍රී රජු ලෙස පත්කර ඇත. ඉන් නොනැවතුනු රජු මාමාට නගරගුත්තික නම් තනතුරක් ද ප්‍රදානය කර ඇත. මෙම නගර ගුත්තික තනතුර පිළිබඳව වංසත්ථප්පකාසීනිය දක්වන විවරණ අනුව, නගරයේ කළ යුතු රැකවරණ කාර්යය යම් කෙනකුගේ කාර්යයේ වේද ඔහු නගර ගුත්තිකයෝ යනුවෙන් හඳුන්වති. එනම් අභය මාමා හරහා නගරයේ ආරක්‍ෂක තත්ත්වය ක්‍රියාත්මක කිරීම හා රාත්‍රී කාලයේ අගනුවර පාලනය කිරීම ද සිදු කර ඇත. මෙලෙස සිදු කර ඇත්තේ කුමන පරමාර්ථයෙන් ද යන වග අපහැදිලි නමුත් මේ වන විට අනුරාධපුර නගරය තුළ දිවා රාත්‍රී මු`ඵල්ලේ ජනයා රැස්වුණ බව සිතිය හැක. ඒ අනුව විදේශ වෙළඳම ද යම් මට්ටමකට දියුණුවීමක් සිදුවන්නට ඇත. විශේෂයෙන්ම ලාංකීය මෙම දේශපාලන තත්වයට සමකාලීනව ඉන්දියාවේ හැසිරීම විමසා බැලුවහොත් මහා ඇලැක්සැන්ඩර් රජුගේ අක්‍රමණත් එසේම මෞර්ය චන්ද්‍රගුප්ත රජුගේ බිහිවීම අදිය මෙකළ සිදුවිය. මෙසේ සිදු වන තත්වයක දි සිරිලක් දිවයින් හි පිහිටීම කරණ කොටගෙන ඔවුන්ගේ වෙළඳම මෙහි සිදු නොවූණා යන්න පිළිගැනීමට නොහැකිය. එම නිසා සිතිය හැකි සාධරණ කාරණාව වන්නේ මේ වන විට ඉන්දීය වෙළඳුන් සමඟ විදේශ වෙළඳම ක්‍රියාත්මක වූ බවයි. එම වෙළඳාමේ දී සිදු විය හැකි අනාරාක්‍ෂිත තත්වයන් සමනය කිරීම අභය මාමා හරහා සිදු වූ බව සිතීම සාධාරණය.

එසේ ම අභය මාමාට මෙම තනතුර ලබා දීම තුළ තවත් කරුණක් පණ්ඩුකාභය කුමරු අපේක්‍ෂා කරන්නට ඇත. එනම් මේ වන විට මිය ගිය මාමා වරුන්ට පක්‍ෂපාතී පිරිස් වෙතින් එල්ල වන අභියෝග මැඩපැවැත්වීමට ද කටයුතු කරන්නට ඇත. මේ වූ සෑම කටයුත්තක් අවසානයේ රජු බලාපොරොත්තු වී ඇත්තේ සාමාජයේ සහජීවනය යි. එසේ ම සමකාමී වතාවරණයයි.

මීට අමතරව ගිරිකණ්ඩ ශිව මාමාට  ද ඔහු පාලනය කරගෙන සිටි ප්‍රදේශයම පවරා දී ඇත. මෙලෙස සිදු කරන්නට ඇත්තේ ද රටේ සමකාමීත්වය සමතුලිත කර ගැනීමට සඳහාම විය යුතුය. මන්ද එය එසේ නොවූනානම් ගිරිකණ්ඩ ශිවට වෙනත් ප්‍රදේශයක් හිමි වීමට ඉඩ තිබිණ. විටෙක එම ප්‍රදේශය තුළ ස්ථාවරත්වයක් ගොඩනංවා ගැනීමට යම්කාලයක් ගත වීම ස්වාභාවිකය. එවිට සුපුරුදු කෘෂිකර්මය බිඳවැටීමට ලක් වන අතර ඉන් රාජ්‍ය ආර්ථිකයට මරු පහරක් එල්ල වනු නිසැකය. එමඟින් රටේ අර්ථිකය කඩා වැටීමත් සොර සතුරන්ගේ බිහි වීමත් රටේ සාමකාමීත්වය බිඳවැටීමත් සිදු විය හැක. එය එසේ නොවීමට පණ්ඩුකාභය රජු වගබලා ගෙන ඇත.ඉන් ලාංකීය ජන සාමාජය තුළ දේශපාලනික වශයෙන් හා ආර්ථිකමය වශයෙන් සහජිවනය ඇති කිරීමට කටයුතු කර ඇත. ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම සඳහා මේ කාලය වන විට වැව් ත්‍රිත්වයක් තිබුණ බවට වංසාකතා සක්‍ෂි දරයි.

“ජයෙ ජලස්ස ගාහෙන ජයයවාපීති ආහු තං”

මහා: 10 පරි 83 ගථා

“යක්‍ඛං තු චිත්තරාජානං හෙට්ඨා අභයවාපියා”

මහා: 10පරි 84 ගථා

“තදුන්තරේ දිසාභාගගෙ යාව ගාමිණිවාපියා”

මහා: 10පරි 96 ගථා



මෙම සක්‍ෂි අනුව රජුගේ කාලසීමාව වන විට ජය වැව/අභය වැව/ගාමිණි වැව යන නමින් වාරි කර්මාන්ත 3ක් තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කර ඇත. මේ අනුව ශක්තිමත් වු ආර්ථික තත්වයක් මත නුවර වැසියන් සතුටෙන් කල් ගත බවට තොරතුරු සඳහන් කර ඇත.

“දාපෙසි ඡණකාලෙ තු චිත්තරාජෙන සො සහ

සමාසනෙ නිසීදිත්‍වා දිබ්බමානුසනාටකං”

මහා: 10 පරි 87 ගථා



චිත්තරාජ සමඟ රජු  දිව්‍ය මානුෂ්‍යයන්ගේ නැටුම් නැරඹු බව මින් සරළව අවබෝධ කර ගත හැකි විවරණයයි. මෙමඟින් විස්තරවන සුවිශේෂි කාරණාව වන්නේ චිත්තරාජ සමඟ සම ආසනයේ හිදිමින් එම නාට්‍යය නරඹා ඇති බවයි. මෙම තත්වය සෑබැවක් නම් ඉන් සමාජයට සම්ප්‍රේෂණය වන යහපත් අර්ථය විශිෂ්ටය. එනම් රජු ද යක්‍ෂ ගෝත්‍රිකයන් වැනි ස්වදේශිකයන් හා නිතරම සමීප සබඳතා පවත්වන බව මින් ප්‍රතීයමාන වේ. මෙමඟින් ආර්යයන් කෙරෙහි ස්වදේශිකයන් දැක්වූ විරෝධ ආකල්පයන් කෙළවර වීම සිදු වන්නට ඇත.එතෙක් ලාංකීය සමාජය ආර්යය හා අනාර්යය ලෙස බෙදී තිබුණ ද මින් මතු එසේ නොවී එකම රටක් ලෙස නැගී සිටි බවට පෙන්වා දිය හැක. මෙතුමා කොතරම් දුරට සහජීවනය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කර ඇත්දැයි මෙමඟින් පැහැදිලිය.

මෙලෙස ගිණිකොණ හා වයඹ දිග ජනයා එකතු කරමින් සිදු කරන ලද සහජීවනය තුළ සිදු වූ වැදගත් අංගයක් ලෙස අධිකරණ කටයුතු පටිපාටිගත කිරීම දැක්විය හැක.

“මහාසුසානාඝාතානං”

මහා: 10 පරි 89 ගථා

මහාවංස ටීකාවට අනුව මෙහි අර්ථය ලෙස දක්වා අත්තේ පොදු සුසානය හා ඊට ආසන්නයේ අඝාතන සංඛ්‍යානධම්ම ගණ්ඨිකය හෙවත් දම් ගෙඩිය ද පිහිටුවා ඇත යන්නයි. රට තුළ නිීතිය ක්‍රියාත්මක කොට දරුණු අපරාධකරුවන් මරණයට පත්කර ඇති බව මින් සිතිය හැක. එමඟින් රටේ සාමය ආරක්‍ෂා කරගැනීමත් ජනයා සුරක්‍ෂිත කර ගනිමින් රාජ්‍ය පරිපාලනය කළ බවට සිතිය හැක. පණ්ඩුකාභය රජුට පෙර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුව ද එහි තිබු අක්‍රමවත් බව මඟහැර ක්‍රමවත් කිරීමක් මෙකළ සිදු බව සිතීම සාධාරණය. රජු අගනුවර සිටිමින් සමස්ත ලංකාවේ නගර සීමා සලකුණු කිරීම සිදු කර ඇත.

“දසවස්සාභිසිත්තො සො ගාමසීමා නිවෙසයි”

මහා: 10පරි 103ගථා

එනම් අභිෂේකයෙන් වසර දහයකට පසුව එම කටයුතු කර ඇත. මෙම කාර්ය සිදු කිරීම අතිශය අපහසු කාර්යයක් නිසාවෙන් සැලකිය යුතු ප්‍රදේශ කිහිපයක් සළකුණු කරන්නට ඇතැයි සිතීම බුද්ධිගෝචරය. කෙසේ හෝ රට තුළ තිබූ සාමය සහජීවනය නිසාවෙන්ම මෙවැනි කාර්යයක් සිදු කිරීමට රජුට හැකි බව සඳහන් කළයුතුය.

මෙලෙස රජුගේ මැදිහත්වීම මත නගර සීමාවන් ලකුණු කිරීම සිදුවන අතර අනුරාධපුර නගරය විශ්ව නගරයක ස්වරූපයට ගොඩ නැංවූ බවට සාධක මතුවේ. විවිධ ජාතීන්ගේ ,විවිධ ආගමිකයන්ගේ, විවිධ සේවකයන්ගේ නිජ භූමියක් ලෙසට අනුරාධපුර නගරය ක්‍රියාත්මක විය. මෙලෙස ඇති වූ සමාජ පසුබිම මත නිරායාසයෙන්ම ආගමික සහාජීවන ප්‍රමුඛ කරගත් සමස්ත සමාජය තුළ ම සහජීවනයෙන් කටයුතු කිරීම සිදු වී ඇත.

“කාලවෙලං නිවෙසෙසි යක්‍ඛං පුරපුරත්ථිමෙ

යක්‍ඛං තු චිත්තරාජානං හෙට්ඨා අභයවාපියා”

මහා: 10පරි 84 ගථා



කාලවේල යක්‍ෂයා නුවරට නැගෙනහිරින් ද එසේම චිත්තරාජ යක්‍ෂයා අභය වැවට පහලින් වැස්සවීය. මෙසේ යක්‍ෂ වන්දනයට අවශ්‍ය ඉඩහසර නිර්මාණය කර දී ඇත.

“පුබ්බෙපකාරිං දාසිං තං නිබ්බත්තං යක්‍ඛයොනියං

පුරස්ස දක්‍ඛිණද්වාරෙ සො කතඤ්ඤු නිවෙසයි”

මහා: 10 පරි 85 ගථා



අතීතයේ තමන්ට උපකාර කළ දාසිය යක්‍ෂණියක් වී උපත ලබා ඇති අතර ඇයට කෘතගුණ සැලකීම වශයෙන් නුවර දකුණු දොරටුව අසල වාසය කරවා ඇත. තවද වලවාමුඛී යක්‍ෂණිය ද ගේ උයන ඇතුළත පදිංචි කරවා ඇත.මෙහිදි මෙම යක්‍ෂණියාගේ මරණින් මතු තත්වයක් පිළිබඳව සඳහන් කර නොමැති බව විශ්මය ගෙනදෙන්නකි. ඒ අනුව රජු මෙම යක්‍ෂණිය උයන තුළ පදිංචි කරවා ගත්තේ කුමන අරමුණකට ද යන්න අපහැදිලිය. නමුත් වංසත්ථප්පකාසිනියට අනුව මෙම යක්‍ෂන් හතර දෙනාටම වසරක් පසා බිලි පුද පුජා පවත්වා ඇත.එම නිසා මෙම යක්‍ෂයන් සියල්ල මරණින් පසුව ලැබූ පූජනීය තත්තවයක් ලෙස හඳුනාගැනීමට හැක.

මෙම කටයුතු නිසාවෙන් යක්‍ෂයන් අදහන ජන කොටස් රජු විෂයෙහි ප්‍රබල ප්‍රසාදයෙන් කටයුතු කර ඇත. ඉන් රටේ සමාජ සහාජීවනය පවත්වා ගැනීමට හැකි වී ඇත. මීට අමතරව දේව වන්දනය සම්බන්ධව ද රජුගේ සහනශිලි ප්‍රතිපදාව ස්මතු වීම ද දැක්විය හැක. එහි දි වෙස්සවණ දෙවියන්ට නුගරුකක් ද, ව්‍යාධි දෙවියන්ට තල් රුකක් ද පුජා කර ඇත. මෙම තත්ත්වය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් ඉදිරිපත් කරන පුජ්‍ය වල්පොල රාහුල හිමියන් දක්වනුයේ මෙම ව්‍යාධි දේව යනු වැදි දෙවියන් බවයි. දඩයම වැදගත් රැකියාවක් වූ මෙකල ආරක්‍ෂාව සඳහා මෙම දෙවියට පුදපුජා කෙරෙන්නට ඇති බවත් එසේ ම තල් රුක පූජනීය බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ විමර්ශනයක් ද ඊට අන්තර්ගත කොට ඇත.(ලංකාවේ බුදුසමයෙහි ඉතිහාසය) කෙසේමුත් මෙම දෙවිවරුන්ට අමතරව නිගණ්ඨයන්ට, බ්‍රහ්මණයන්යට හා ශිව භක්තිකයන්ට ද අනුග්‍රහය දක්වා ඇති බවට සාධක මහාවංස තුළ සොයා ගත හැකිය.

          ජෝතිය නම් නිගණ්ඨයාට ද නිවසක් තනා දී ඇත. එම ප්‍රදේශයේම ගිරි නිගණ්ඨයාව ද වාසය කරවා ඇත. මෙලෙස එකළ වාසය කළ නිගණ්ඨයන් විශයෙහි ප්‍රබල අනුග්‍රහයන් සිදු කර ඇත. එසේ ම තපාසවරුන්ට තාපසාවාස ද විවිධ පාසණ්ඩිකයන්ට මෙන්ම බොහෝ ශ්‍රමණයන්ට ද අරාම තනාදුන් බව වංසකතාකරු සඳහන් කරයි. මෙම කාලයේදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා නියෝජනය කරන බවට සේයාවයක් ඇත. එනම් යටකී බෝහෝ ශ්‍රමනයන් යනු බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා බව උගතුන් විශ්වාස කරයි. කෙසේ මුත් විවිධ ආගම් මේ වනවිට අනුරාධපුරයේ පැවැති බවට පැහැදිලිය. වැදගත් කාරණාව වන්නේ පණ්ඩුකාභය රජු මෙම ආගම් අතර කිසිදු ගැටලුවක් නොවන අන්දමට සියල්ලට සමාන අන්දමින් අනුග්‍රාහයන් දක්වා ඇත. සිවිකා ශාලා සහ සොත්ථි ශාලා යනුවෙන් නිර්මාණ තැනින් තැන ඉදි කළ බවට සඳහන් වු නමුත් එ කුමක් ද යන්න අපහැදිලිය. ශිවිකාශාලා නම් ශිව ලිංගයන් පිහිටවූ ලද ශලාවයි,නැතහොත් සූතිකාගරයි. සොත්ථිශාලා නම් බ්‍රහ්මණයන් විසින් “ස්වස්ති” වචන උසුරුවන ලද ශාලාවයි.නැතහොත් ආරෝග්‍යශාලාවයි, යනුවෙන් වංසත්ථප්පකාසිනිය තුළ අර්ථ විග්‍රහා කොට ඇත.මේ අනුව සිතිය හැක්කේ මේ වන විට අනුරාධපුර නගරය විශ්ව නගරයක ස්වරූපය ගත් බවකි.එසේම එහි  විවිධ ආගම් පැවැති බව පෙනී යයි. අන්‍ය ආගම් ඉවසීම පිළිබඳව තවත් එක් නිදසුනක් මෙසේ ගෙනහැර දැක්විය හැක.

         

මහාවංසයේ දහවන පරිච්ඡේදයේ 92 වන ගාථාවේ සඳහන් වන මතනීහරකෙ යන වචනයට අරුත් සපයන වංසතථප්පකාසිනිය දක්වනුයේ මිනිස් ගව මළ සිරුරු ඉවත් කරන්නන් මෙනමින් හඳුන්වන ලැබූ බවයි. එය සත්‍යයක් නම් අනුරාධපුරයේ කිසිම විටක ගව මස් අනුභව කළ පිරිස් නොසිටි බවට නිගමනය කළ හැකිය. මන්ද ගවයන්ගේ මළ සිරුරු ඉවත් කිරීමට වෙනමම පිරිසක් සිටීම යනු ගවයන්ගේ මරණය ස්වභාවිකව සිදුවන බවයි. මෙසේ සිදු කිරීම විටෙක ශිව ආගම තුළ ගවයාට හිමිව තිබූ ප්‍රමුඛ ස්ථානය නිසාද යන්න ප්‍රශ්නයකි. කෙසේ හෝ මෙම කාරණාව මඟින් ආගමික වශයෙන් ඇතිවිය හැකි ගැට`ඵවක් මඟහැරී ගොස් ඇත.

රජුගේ මැදිහත් විමෙන් මිත්‍යාදෘෂ්ටික ගෙවල් පන්සියයක් නිර්මාණය කරදීම සිදු කර ඇත. මෙමගින් රජුට සාපේක්‍ෂව මෙම පිරිස මිත්‍යාදෘෂ්ටිකයන් ලෙස හැදින්වූවාද යන්න අපහැදිලිය. කෙසේ හෝ රජුගේ ආගම පිළිබඳව කිසිදු සඳහනක් සිදු කර නොමැත. කෙසේ හෝ රජු එකදු ආගමකටවත් පක්‍ෂග්‍රාහීව කටයුතු නොකළ අතර සියලු ආගම් වල ඇති සංස්කෘතීන් ඒ අයුරින්ම පිළිගෙන ඇති අතර එකම අවස්ථාවකවත් සෑම ආගමක්ම එක සමානයැයි කටයුතු කළ බවක් නොපෙනේ.

මීට අමතරව රජු විසින් අනුරාධපුර නගරය තුළ නානා විධ සේවකයන්ගේ නිවාස ස්ථානගත කිරීම සිදු කර ඇත. එහි දි රජු සුවිශේෂි පිළිවෙතක් අනුගමනය කර ඇත. එහදී සැඩොලුන්ට වාසය කිරීමට ප්‍රදේශයක් නියම වූ අතර ඔවුන්ට වෙනම ම සුසානයක් ද විය.මෙහිදී සැඬොල් යනුවෙන් හඳුන්වා ඇත්තේ නගරශෝධකයන්, කසලශෝධකයන්, මිනිස් සහ ගව මළ සිරුරු බැහැර කරන්නන් ආදියයි.(බෞද්ධ සාහිත්‍ය තුළ මෙම සැඩොල් කුලය පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකිය. එනම් සුනීත වැනි කසල ශෝධකයන් පිළිබඳව විස්තර සඳහන් වේ. ක්‍රි.පූ. 5 සියවස තුළ භාරතයේ තිබූ තත්වය මේ අනුව පැහැදිළි කාරණාවකි.මෙම තත්ත්වය ලාංකීය ජන සමාජය තුළට අවශෝෂණය වීම සිදු වී ඇත්තේ පණ්ඩුකාභය රජු අවධියේ වීම වැදගත් කාරණාවයකි.) වැදි ජනයාට ද ප්‍රදේශයක් නියම කිරීම සිදු කර ඇත.මිත්‍යදෘෂ්ටික කුලයේ පන්සීයයක්  පමණ පිරිසක් ද මෙම නුවරම වාසය කිරීමට ඉඩහසර ලබා දීම සිදු කර ඇත. රාජරාජ මහාමත්‍යයන් අගනුවර කේන්ද්‍රයේම වාසය කර ඇත. මෙලෙස සියලුම ජන කොටස් අගනුවර හා ඒ අවට ස්ථාන ගත කිරීම පණ්ඩුකාභය රජුගේ මැදිහත් වීම මත සිදු කර ඇත. මෙමඟින් අවාහවිවහා ආදිය එම කුලය අතරම සිදු විය. රජු විසින් ආරම්භ කළ සමාජ සහාජීවනය ඇති කිරීමට මෙය අතිශය පහසුවක් විය. මෙහි සිදු වූ දුර්වලතාවය වූයේ සමාජයේ පිරිස් සම්මිශ්‍රණය නොකිරීමයි. එනම් පිරිස් වලට අවේණික ප්‍රදේශ නියම කිරීම තුළ ඔවුන් පසු කාලයේ දී මහත් අපහසුතාවයන් වලට ලක් වීම සිදු වී ඇත.(දුටු ගැමුණු කුමරුගේ පුත් සාලිය කුමාරයා විවිහා කර ගත් අශෝකමාලාවන් පණ්ඩුකාභය රජු විසින් ආරම්භ කළ සැඩොල් ගමක වීම දැක්විය හැක.මහවංසය 33 පරිච්චේදයේ 2 ගාථාව)ඒ අනුව සිතිය හැක්කේ පණ්ඩුකාභය රජු විසින් පවත්වාගෙන ගිය සමාජ සහජීවනයේ ජීවය එම රජුගේ කාලයට පමණක් සීමා වූවක් බවයි. කෙසේ හෝ රජු වසර හැත්තෑවක් පුරාවටම කිසිදු අභ්‍යන්තර ගැට`ඵවකින් තොරව සාමජය තුළ සහාජීවනය ඇතිකරලමින් තම සේවාව ලබා දී ඇති අකාරයයි.

                   යථෝක්ත මුලාශ්‍රයගත තොරතුරු වලට අනුව ක්‍රි.පූ.437-367 අතර කාලය තුළ කිරුළ හිමි පණ්ඩුකාභය රජු විසින් ලාංකීකයන්ට සහජීවනයේ නියම අරුත පිළිබඳව මැනවින් පැහැදිලි කර ඇත. මෙතුමා විසින් ලබා දුන් එම පණිවුඩය හුදු ලාංකාවාසීන්ට පමණක් නොව මු`ඵ මහත් ලෝකාවාසීන්ට ම පූර්ව ආදර්ශයක් බව සිහිපත් කළ යුතුය.ලෝකය තුළ පවතින යුධ ගැටුම් නිමා කරලීමට ලාංකීය ඉතිහාසය තුළින් ලැබිය හැකි ආදර්ශ බෙහෝ බව මින් පසක් වේ. පණ්ඩුකාභය රාජ්‍යකාලය අවබෝධ කර ගැනීම තුළින් සමාජ සහජීවනයේ නියම ම අරුත කුමක් ද යන්න වටහා ගැනීම එතරම් අපහසු නොවනු ඇතැයි මෙම කරුණු අනුව විශ්වාස කළ හැකිය.

















=  කහඳව ආරච්චි චන්ද්‍රදාස; (1997) ;සිංහල දීපවංසය; එස් ගොඩගේ සහ සහෝදරයෝ

=  වීරසේකර ගුණපාල;මහාවංසය ;එස් ගොඩගේ සහ සහෝදරයෝ

=  රාහුල හිමි වල්පොල;ලංකාවේ බුදුසමයේ ඉතිහාසය;ඇම්.ඩි ගුණසේන සහ සමාගම

=  ලියනගේ අමරදාස රණවීර ගුණවර්ධන;(1965);අනුරාධපුර යුගය;(සංස්) විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය

=  රායි හේමචන්ද්‍ර; (1964) ;ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය ;සිංහල (පරි) විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය

=  නිකොලස් සී .ඩබ් . පරණවිතාන ඇස්. ;(2004); සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසයක් ;ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගංගොඩවිල නුගේගොඩ

=  සෝරත නාහිමි වැලිවිටියේ ;ශ්‍රී සුමංගල ශබ්දකොෂය;එස් ගොඩගේ සහ සහෝදරයෝ

=  අමරවංස නාහිමි අකුරටියේ,දිසානායක හේමචනද්‍ර;වංසත්ථප්පකාසිනී;පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත්උපාධි ආයතනය - කැලණිය විශ්වවිද්‍යාලය